Register Now

News Details

  • විනය

  • නායකත්වය

  • පෞරුෂය

ජාතික යොවුන් සේනාංක උතුර දකුණ යා කිරීමේ සහජීවන වැඩසටහන සාර්ථකව අවසන් වෙයි…

ජාතින් අතර සහයෝගීතාව වර්ධනය, සංස්කෘතික ලක්ෂණ පිළිබඳ අවබෝධය ලබාගැනීම සහ සන්නිවේදන ගැටලු අවම කරගනිමින් අන්‍යෝන්‍ය අවබෝධයක් ගොඩනඟා ගැනීම අරමුණු කරගනිමින් ජාතික යොවුන් සේනාංක යොවුන් ශිෂ්‍යභටයන් සඳහා පවත්වනු ලැබූ උතුර දකුණ යා කිරීමේ තෙදින සහජීවන වැඩසටහන සාර්ථකව අවසන් විය.

එහි පළමු දිනයේ උණුසුම් පිළිගැනීමේ උත්සවයක් දිවුලපිටිය පුහුණු මධ්‍යස්ථානයේ පැවති අතර දකුණේ කැවිලි මේසය, උතුරේ තරුණ තරුණියන්ගේ සිත්ගන්නා සුළු අංගයක් විය. දෙවන දිනයේ ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති නිල නිවස, ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික ඉතිහාස කෞතුකාගාරය, නෙළුම් කුළුණ, විහාරමහාදේවි උද්‍යානය සහ කොළඹ නගරය අවට විශේෂිත ස්ථාන නැරඹු අතර අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මැතිතුමාගේ සහභාගිත්වයෙන් විශේෂිත සාකච්ඡාවකට සහභාගී වීමට ද යොවුන් ශිෂ්‍යභටයන් හට අවස්ථාව උදා විය. තෙවන දිනයේ උදෑසන අත්තනගල්ල රජමහා විහාරය, ගම්පහ හෙනරත්ගොඩ උද්භිත උද්‍යානය නැරඹු යොවුන් ශිෂ්‍යභටයන් එදින සවස දිවුලපිටිය පුහුණු මධ්‍යස්ථානයේ දී ක්‍රිකට් සහ වොලි බෝල් ක්‍රීඩා ඉසව් සඳහා සහභාහී විය. එදින රාත්‍රියේ ගිනිමැල සංදර්ශනයක් සහ සංස්කෘතික සංදර්ශනයක් ද දිවුලපිටිය පුහුණු මධ්‍යස්ථානයේ දී පැවැත්වුණි.

ජාතික යොවුන් සේනාංක අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් සුජීව රත්නායක යූඑස්පී පීඑස්සී අයිජී, අතිරේක අධ්‍යක්ෂ (පරිපාලන හා මූල්‍ය) නීතිඥ නිශාන්ත පුෂ්පකුමාර, අතිරේක අධ්‍යක්ෂ (පුහුණු හා සංවර්ධන) යන මහත්වරුන්ගේ මඟ පෙන්වීමෙන් සහ සහකාර අධ්‍යක්ෂවරුන්, බස්නාහිර පළාත් අධ්‍යක්ෂ කර්නල් එල්. පී මෙන්ඩිස් හා උතුරු පළාත් අධ්‍යක්ෂ කර්නල් අමිල් ලියනගේ යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් මෙම වැඩසටහන පැවැත්වූ අතර ඒ සඳහා මධ්‍යස්ථානාධිපතිවරුන්, සහය මධ්‍යස්ථානාධිපතිවරුන්, මධ්‍යස්ථාන උපදේශක උපදේශිකාවන්, මූලස්ථාන කාර්ය මණ්ඩලය සහ යොවුන් ශිෂ්‍යභටයන් සහභාගී විය.

ගැලරිය

අපව අමතන්න

Copyright © 2021 - 2022 National Youth Corps

Call Now Button