Register Now

News Details

  • විනය

  • නායකත්වය

  • පෞරුෂය

2023 නව වසරට සුබ පැතුම්..

ශ‍්‍රී ලාංකේය හෙළ සංස්කෘතියට අනුව මා පළමුවෙන්ම ඔබ සැම වෙත මාගේ හෘදයංගම කෘතවේදීත්වය පළ කරමි. ගෙවී ගිය වසර කිහිපය තුළ ජාතික යොවුන් සේනාංකයේ සභාපති වශයෙන් පත් වූ දින සිට මේ දක්වා රාජකාරී කටයුතු සඳහා මා හට මනා සහයෝගයක් ලබා දීම පිළිබඳව ඔබ සියලූ දෙනාට මාගේ ස්තුතිය හා ප‍්‍රණාමය පුද කරමි.

රටක කොඳුනාරටිය වන තරුණ පරපුර පෞරුෂ සංවර්ධනයෙන් හා මෘදු කුසලතා සංවර්ධනයෙන් සවිබල ගැන්වීමෙහි ලා රජයේ ප‍්‍රමුඛතම යෞවන පෞරුෂ සංවර්ධන ආයතනය වන ජාතික යොවුන් සේනාංකය, උදා වන නව වසරත් සමඟ නවමු මඟකට යොමු වීමේ භාරදූර කාර්ය අභිමුඛව පෙළගැසිය යුතු බව ද මෙම අවස්ථාවේදී මම ඔබ සැමටම පසක් කර සිටිමි. අප ආයතනය හමුවේ ඇති එකම අරමුණ විය යුත්තේ දේශහිතෛෂී හැකියාවන්ගෙන් යුත් නිපුණ තරුණ පිරිසක් අනාගතයට බිහි කිරීමයි. ඒ සඳහා නවමු වෙනස්කම්වලට භාජනය වෙමින් නව මාවත් ඔස්සේ ගමන් ගත යුතු කාලයක් එළඹී ඇත යන්න මගේ සිතුවිල්ලයි. යම් පුද්ගලයෙකු හෝ ආයතනයක් තුළ ධනාත්මක දියුණුවක් ඇති වන්නේ වෙනස්කම් තුළිනි. අභියෝග මධ්‍යයේ වුව ද අප නවමු වෙනස්කම් සොයා යා යුතුය. රාජකාරීමය කාර්යාවලිය නිසි ලෙස අවබෝධ කරගනිමින්, ආයතනික වශයෙන් සිදුවන වෙනස්කම්වලට ඔබ සැම දෙනාගෙන් නිසි සහයෝගය ලැබේ යැයි මා තරයේ විශ්වාස කරමි.

ලක් ඉතිහාසයේ කිසිදු වකවානුවක අත් නොදුටු අයුරින් බොහෝ දුෂ්කරතා රැසකට මුහුණ දීමට අප සියලූ දෙනාට සිදු වී ඇත. නිසැකවම අප මේ අභියෝග ජයගත යුතුය. අපට එය ජය ගැනීම අසීරු නොවේ. මානව සංහතියේ පරිණාමය සිදු වූයේම අභියෝගය හමුවේ නොසැලී ස්වකීය ධෛර්යය පරම විශ්වාසය බවට පත්කර ගත් මිනිසුන් නිසාය. අපගේ අධිෂ්ඨානයන් පරිපූරණය කරගත හැක්කේ අප පූර්ණ ලෙස පොදු යහපත වෙනුවෙන් වඩාත් කාර්යක්ෂමව සහ ඵලදායීව කාලය කළමනාකරණය කර ගනිමින් නිවැරිදි දේ නිවැරදිව ඉටු කිරීමේ වගකීමට අනුගත වීමෙනි.

එළැඹෙන හෙට දවසේ අපට මුහුණ දෙන්නට සිදුවන සියලූ අහිතකර සංචලනයන් අප තේරුම් ගත යුතුය. ගැටළු, බාධක කෙරෙහි අප ඉතා දැඩිව සංවේදී විය යුතුය. සොබාදහම බොහෝ තීන්දු තීරණ ගැනීමේ බලසම්පන්න තීරකයා බව අප සිහිතබා ගත යුතුය. පේ‍්‍රමය, දයාව සහ ආදරය හැකි සෑම විටම අන්‍යයන් වෙත බෙදා දෙමින්, වැටී සිටින එක් අයෙකු වෙත හෝ අපේක්ෂා සහගත බලාපොරොත්තු දල්වාලිය හැකි ආශිර්වාදයේ සුබ පැතුම් අනිවාර්ය කොන්දේසියක් බවට පත් කරගනිමු.

ඔබ ඇතුළු අප සියලූ දෙනා නව වසරට පිවිසෙන්නේ ලක් මාතාව ආර්ථික, දේශපාලනික සහ සමාජයීය සංකීර්ණතා අවදි වී ඇති පසුබිමකය. ගැටළුකාරී සංකීරණතා තුරන් කිරීමේ සාමුහික වගකීම අතැතිව අප හමුවේ ඇති අභියෝග ජය ගනිමින් සමෘද්ධිමත් ශ‍්‍රි ලංකාවක් ගොඩනැගීම උදෙසා ගනු ලබන තීන්දු තීරණ සාර්ථක කර ගන්නට එළැඹෙන නව වසරේ සාමූහිකව කැප වෙමු. ජාතික යොවුන් සේනාංක කාර්යභාරය නිසිලෙස සමාජගත කරමින් හෙට රට භාර ගැනීමට පෙරට එන තාරුණ්‍ය හැකියාවෙන් බුද්ධියෙන් මෙන්ම, නව්‍ය ආකල්පවලින්, මිනිසත්කමින් පෙරදැරි තාරුණ්‍යයක් බිහි කිරීම යුගයේ අවශ්‍යතාවයයි. සියලූ බාධක ජයගෙන සමෘද්ධිමත් දේශයක් ගොඩනැඟිය හැකි වන්නේ එවිටය.

ලැබුවා වූ 2023 නව වසර ඔබ සැමටත්, ඔබගේ පවුලේ සියලූ දෙනාටත්, නෑදෑ හිතමිතුරන්ටත්, දුවා දරුවන්ටත් සාමය, සතුට, සෞභාග්‍ය සපිරි සුබ නව වසරක් වේවා…!යි ඉත සිතින් සුබාශිංසනය කරමි.

කර්නල් දර්ශන රත්නායක ආර්ඩබ්පී, ආර්එස්පී

සභාපති

ජාතික යොවුන් සේනාංකය

2023.01.01 දින දී ය…

ගැලරිය

අපව අමතන්න

Copyright © 2021 - 2022 National Youth Corps

Call Now Button