Register Now

News Details

  • විනය

  • නායකත්වය

  • පෞරුෂය

‘තිරසාර හෙටකට හරිත ගැන්වූ යොවුන් සේනාංකය’

ශ්‍රී ලාංකේය තාරුණ්‍යයේ ජිවන කුසලතා ඔප්නැංවීම මෙන්ම ඔවුන් පරිසරයට හිතැති කෘෂිකර්මයට ලැදි පිරිසක් බවට පත් කිරීමේ අරමුණින් 2021 වර්ෂයේ සිට ඇරඹි “Y-Green” වැඩසටහන මේ වනවිට ඉතා සාර්ථක මෙන්ම ඵලදායී සංකල්පයක් බවට පත්ව තිබේ. කෘෂිකර්මයෙන් ඈත්වෙමින් සිටින තරුණ ප්‍රජාව ඒ සඳහා උනන්දු කරවීම හා ඔවුන්ව රටේ ආර්ථික සංවර්ධනයට දායක කරගැනීමට මේ වනවිට මෙම වැඩසටහන ඔස්සේ  හැකියාව ලැබී තිබේ. ප්‍රථමයෙන්ම මෙම සංකල්පය දියත් කළේ COVID 19 වසංගත තත්ත්වය හමුවේ රටට එල්ල විය හැකි ආහාර අභියෝගය ජයගැනීමට වෙරදැරීමක් ලෙසය. කෙසේවුවත් වර්තමානයේ රට තුළ පවතින ආර්ථික අර්බුදයත් සමඟ Y-Green ව්‍යාපෘතිය කාලෝචිත ව්‍යාපෘතියක් බවට පත්ව ඇත. දිවයින පුරා ස්ථාපිත කර ඇති ජාතික යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථානවල කාර්ය මණ්ඩලය හා යොවුන් ශිෂ්‍ය භටයන් ඉතා කැපවීමෙන් මෙම කෘෂි වැඩසටහන සාර්ථක අන්දමින් පවත්වාගෙන යනු ලබයි.

රටේ පවතින තත්ත්වයත් සමඟ රාජ්‍ය සේවකයන් වගා කටයුතුවල නිරතවීමට අවස්ථාව ලබාදෙමින් නිකුත් කළ චක්‍රලේඛයත් සමඟ ජාතික යොවුන් සේනාංකය Y-Green ව්‍යාපෘතිය මේ වනවිට ඉතා පුළුල් ලෙස වර්ධනය කරගනිමින් දිවයින පුරා සාර්ථක ලෙස ක්‍රියාත්මක කරනු ලබයි. යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථානවල Y-Green කෘෂි වගා වැඩසටහන දිරිගැන්වීමේ අරමුණින් කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ පිහිටි ජාතික යොවුන් සේනාංක මූලස්ථානයේ ද වගා කටයුතු කිරීම අගය කළ යුතු කාරණයකි. කොළඹ නගරය වැනි නාගරික ප්‍රදේශයක ඉඩකඩ සපයාගැනීම ඉතා අසීරු කටයුත්තකි. නමුත් ලැබී ඇති ඉඩකඩ කළමනාකරණය කරගනිමින් අපේක්ෂිත ඉලක්කය කරා ගමන් කිරීමට යොවුන් සේනාංක කාර්ය මණ්ඩලය සමත් වී තිබේ. මෙහිදී වම්බටු, බණ්ඩක්කා, බෝංචි, මෑ කරල්, තක්කාලි, අමු මිරිස්, කොච්චි මිරිස්, බීට්රූට්, රාබු, වැරනියා මිරිස්, දඹල හා නිවිති යන භෝග වර්ග වගා කිරීමට කටයුතු කර ඇත. භෝග වගා කිරීමේ දී ඉඩකඩ කළමනාකරණය කරගැනීමට විශේෂ ක්‍රමවේද ද භාවිත කර ඇත. මෙහිදී භාවිත කරනු ලබන විශේෂ ක්‍රමවේදයක් ලෙස හයිඩ්‍රෝපෝනික්ස් (hydroponics) ක්‍රමය දැක්විය හැකිය. ජාතික යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථානවල කෘෂි වගා වැඩසටහන දියත් කිරීමට පෙර ඊට අවශ්‍ය කාබනික පොහොර  නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියක්ද ඉතා සාර්ථකව සිදු කරන ලදී.

මීට අමතරව ඉතා සාර්ථක ලෙස ඩෙන්ඩ්‍රෝබියම් වර්ගයට අයත් ඕකිඩ් මල් වගාවක්ද මූලස්ථාන පරිශ්‍රයේ පවත්වාගෙන යනු ලබයි. මෙම මල් වර්ගය මඟින් ඉහළ ආදායමක්, වැඩි අස්වැන්නක් මෙන්ම වැඩි මල් ප්‍රමාණයක් ලබාගත හැකිය. එම මල් පැළ අලෙවි කර ලබාගන්නා මුදල් යොවුන් සේනාංක සුභසාධන අරමුදල සඳහා දායක කරගනු ලබන අතර එමඟින් කාර්ය මණ්ඩල සුභසාධන කටයුතු වඩා ඵලදායී ලෙස සිදුකරගැනීමට ඔවුන්ට හැකි වී තිබේ.

ගැලරිය

අපව අමතන්න

Copyright © 2021 - 2022 National Youth Corps

Call Now Button