Register Now

News Details

  • විනය

  • නායකත්වය

  • පෞරුෂය

යතාර්ථය බලගන්වන සිහිනයේ අවකාශය “Y Rhythm 2024” මුහුරත් උළෙල…

ජාතික යොවුන් සේනාංක අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් සුජීව රත්නායක යූඑස්පි පිඑස්සී අයිජි ගේ පූර්ණ මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක කරනු ලබන “Y Rhythm 2024” රියැලිටි වැඩසටහනේ මුහුරත් උළෙල අගෝස්තු 14 දින, යොවුන් සේනාංක අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් සුජීව රත්නායකගේ ප්‍රධානත්වයෙන් මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණි.

යක්කල සෞන්දර්ය නිකේතනයේ පුහුණුලාභීන්ගේ ප්‍රාසාංගික අංගයන්ගෙන් වර්ණවත් වූ මෙම උළෙල සඳහා යොවුන් සේනාංක අතිරේක අධ්‍යක්ෂ (පුහුණු හා සංවර්ධන) සමන් කුලසූරිය මහතා, සහකාර අධ්‍යක්ෂවරුන්, මූලස්ථාන නිලධාරීන් සහ පුහුණුලාභීන් සහභාගී විය.

මිනිසාගේ පරිකල්පනය බිහි වූ දා පටන් මානව සාහිත්‍ය සහ කලාව නිර්මාණය වන්නට ඇතැයි අප විශ්වාස කරන්නෙමු. සමාජය පරිණාමයෙහි වගකීම අප සතු වන අතර එය පවත්වාගෙන යමින් නව්‍ය දේ රැස් කරන්නට අප සමත් වී ඇත. රටේ තාරුණ්‍යය යනු එරටෙහි කඳු නාරටිය වේ. ආර්ථික, දේශපාලන, සමාජයීය අවබෝධය සේම සෞන්දර්යාත්මක චින්තනය සහ රසවිඳීම සමාජය සතුව තිබීම ඉතා වැදගත්ය.

සමාජයේ වගකීම් මැනවින් ඉටුකරන රාජ්‍ය ආයතනයක් වන ජාතික යොවුන් සේනාංකය, රටෙහි සර්වකාලීන ගැටලුවලට රුකුලක් වනවා සේම රටේ තාරුණ්‍යයේ හැකියා ඔප් නංවාලීමටද මං පෙත් විවර කර දේ. ජාතික යොවුන් සේනාංක අධ්‍යක්ෂවරයාගේ සංකල්පයක් මත ආරම්භ කළ “Y Rhythm 2024” රියැලිටි වැඩසටහන ජාතික යොවුන් සේනාංකයේ ගායනයට දක්ෂතා දක්වන තරුණ තරුණියන්ගේ හැකියාවන් අගයනු වස් ගත් තවත් එක් නිර්මාණශීලී සෞන්දර්යාත්මක වෑයමකි. රට පුරා විසිරී පවතින මධ්‍යස්ථාන ජාලය හරහා රටෙහි සිව් කොන සිසාරා යමින් ගායන දක්ෂතාවයන්ට ඇගැයීමක් ලබාදෙමින් ඔවුන් සමාජගත කිරීම මෙහි ප්‍රධාන අරමුණ වේ.

යොවුන් සේනාංක පාඨමාලාව හදාරන දක්ෂ යූත් කැඩෙට්වරුන් මධ්‍යස්ථාන මට්ටමින් තෝරා ගනිමින් පළාත් මට්ටමින් ජාතික තලයට ගෙන ඒම මේ තුළින් අපේක්ෂිතය. මේ වනවිට Y Rhythm 2024 පළමු අදියරෙහි තරඟ අවසන් කර ඇති අතර ඉන් තේරී පත්වන තරඟකරුවන් විෂය අධ්‍යයනයකින් යුතුව ප්‍රවීණ විනිශ්චය මණ්ඩලයක් යටතේ ඉදිරි තරඟ අදියරයන් සඳහා ඉදිරිපත් වීමට නියමිතය.

“Y Rhythm 2024” රටේ තාරුණ්‍යයේ ගායන හැකියාවන් හෙට දින කිරුළු දරන්නට, ඔවුන්ගේ සිහින යථාර්ථයක් කරගන්නට නව මානයක් වනු නොඅනුමානය. මෙය ජාති, ආගම්, භේදවලින් තොර රසවින්දනාත්මක ජාතියක් තනන්නට උත්සුක වන විනය, නායකත්වය, පෞරුෂය තනන ජාතික යොවුන් සේනාංකයෙහි තවත් එක් සෞන්දර්යාත්මක චාරිකාවකි.

ගැලරිය

අපව අමතන්න

Copyright © 2021 - 2022 National Youth Corps

Call Now Button