Register Now

ජාතික යොවුන් සේනාංක සභාපති/අධ්‍යක්ෂතුමන්ගේ පණිවිඩය

  • විනය

  • නායකත්වය

  • පෞරුෂය

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන බොහෝමයක ක්‍රියාකාරකම් බලයට පත්වන රජයට සාපේක්ෂව වෙනස් වේය යන නියතය තුළ ගෙවී ගිය වසර පහ තුළ සිදු වූ මන්දගාමී ක්‍රියාකාරකම් වෙනුවට 2019 දී සිදු වූ දේශපාලන වෙනස්වීම් සමඟ යළි ප්‍රාණවත්ව ගොඬනඟන්නට විය. 2019 දී ජනාධිපතිවරණය හමුවේ වර්තමාන අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ ‘සෞභාග්‍යයේ දැක්ම’ ජාතික වැඩසටහන තුළ ‘නවෝත්පාදන තරුණයා’ බිහි කිරීමේ වගකීම ප්‍රධාන කොටගත් වගකීම් රැසක් ජාතික යොවුන් සේනාංකය වෙත ද පැවරී තිබෙන බව කිවයුතුම කරුණකි. ඒ අනුව නව මානයකින් ජාතික යොවුන් සේනාංකයේ සියලු ක්‍රියාකාරකම් වර්ගීකරණය කරන්නටත්, තිරසාර සංවර්ධිත රටක් උදෙසා සක්‍රීය තරුණ ප්‍රවාහයක් ගොඩනැගීමට දායක වීමත් අද දවසේ ජාතික යොවුන් සේනාංකයේ ප්‍රමුඛ කාර්යභාරය වී තිබේ.

ජාතික යොවුන් සේනාංක කාර්යභාරය නිසි ලෙස හඳුනාගනිමින් නවතාවයෙන් යුතුව සකස් කර ඇති පාඨමාලා නිර්දේශය මෙන්ම, පාඨමාලාවේ ගුණාත්මක භාවය ඉහළ නැංවීමේ අරමුණු ඇතිව නියමු ව්‍යාපෘති රැසක් මේ වන ක්‍රියාත්මක කරමින් සිටී. ඒ අනුව මූලික පෞරුෂ සංවර්ධන හා නායකත්ව පුහුණු පාඨමාලාවට එක්වන පුහුණුලාභියා වෙත පාඨමාලා කාල සීමාව තුළදීම විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය සහිත ආයතනයකින් ඉංග්‍රීසි හා තොරතුරු තාක්ෂණ විෂයයන් සඳහා උසස් සහතිකපත්‍රයක් ලබා දීම, පුහුණුවෙන් පසු වෘත්තීය පුහුණුවට යොමු වන පුහුණුලාභීන් වෙත සම්පූර්ණ ශිෂ්‍යත්වයක් සහිතව වෘත්තීය පුහුණුවට ‍යොමු කිරීම වැනි සුවිශේෂී කරුණු මේ අතර වෙයි.

2021 – 2030 නිපුණතා සංවර්ධන දශකය තුළ ගමන් අරඹා ඇති අප ඉලක්ක කරා ගමන් කිරීමේ දී ඒ සඳහා ඇති අභියෝග ජය ගැනීමට තම දැනුම සහ අත්දැකීම් රට, ජාතිය වෙනුවෙන් කැප කළ යුතුව ඇත.

ජාතික යොවුන් සේනාංකය හා එක්වන යෞවන යෞවනියන් විනයෙන්, නායකත්වයෙන් හා පෞරුෂත්වයෙන් ගොඩනැ‍ඟෙනවා සේම අනාගත ‍ලෝකය හා අත්වැල් බැඳ ගන්නට අවැසි දැනුමින් හා තාක්ෂණයෙන් ද සන්නද්ධ වීම ඔවුන්ගේ අනාගතයට මහෝපකාරී වනු නොඅනුමානය. අනාගතයට සුදුසු, තමන් විසින් තෝරාගනු ලබන ක්ෂේත්‍රයේ අනාගත නායකයින් බවට පත්වීමට සමත්, සියලු ශ්‍රී ලාංකිකයින් තුළ අභිමානය ඇතිකරන සහ ජාතියේ සංවර්ධනයට උරදෙන පරපුරක් බිහි කිරීම උදෙසා ජාතික යොවුන් සේනාංකයේ අභිලාෂය සාක්ෂාත් කරනු පිණිස කටයුතු කිරීම රටක ජීවනාලිය බඳු තරුණ ඔබගේ වගකීම වේ.

රටේ වත්මන් භාරකරුවන් ලෙස පෞරුෂමත් පුරවැසියකු බිහි කිරීමේ බීජය ජාතික යොවුන් සේනාංකය ලෙස අප රෝපණය කරන්නෙමු. ඒ වෙනුවෙන් ජාතික යොවුන් සේනාංක කාර්ය මණ්ඩලය නිරතුරුවම ඇපකැප වන බව සහතික කරමි. ඔබ සැමට සුබ අනාගතයක් පතමි.

කර්නල් දර්ශන රත්නායක ආර්ඩබ්පී ආර්එස්පී

සභාපති

ජාතික යොවුන් සේනාංකය

ගැලරිය

අපව අමතන්න

Copyright © 2021 - 2022 National Youth Corps

Call Now Button